ශ්‍රී ලංකාවේ ඩිත්වා චක්‍රවාතයෙන් හානියට පත් මාර්ග කිලෝමීටර් 600ක් පමණ අලුත්වැඩියා කර නැවත ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

මෙම මූල්‍යකරණය මගින් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි වෙළඳපොළ, පාසල්, සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් පළාත් සහ ප්‍රාදේශීය මාර්ග නැවත ඉදිකිරීමට සහාය වනු ඇත.

වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති සහ නායයෑම් ආරක්ෂණ පියවර ඇතුළුව, දේශගුණික අවදානම්වලට වඩාත් ඔරොත්තු දිය හැකි ප්‍රමිතීන්ට අනුව මෙම මාර්ග නැවත ඉදිකිරීමට නියමිතය.

මෙම අතිරේක මූල්‍ය පහසුකම ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) අර්බුද ප්‍රතිචාර කවුළුව (Crisis Response Window) හරහා ලබා දෙනු ලැබේ.

එය දැනට පවතින Inclusive Connectivity and Development Project වෙත නව ඩිත්වා චක්‍රවාත මාර්ග ප්‍රතිසාධන සංරචකයක් ලෙස එක් කෙරේ.

මෙම අතිරේක මුදලත් සමඟ අදාළ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවේ මුළු මූල්‍ය සම්පාදනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සිට මිලියන 610 දක්වා ඉහළ යන අතර, ව්‍යාපෘති කාලසීමාව වසර තුනකින් දීර්ඝ කෙරේ.

මෙම වැඩසටහනෙන් ඉලක්කගත දිස්ත්‍රික්ක අටක පුද්ගලයන් 830,000කට වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර, මිලියන දෙකකට ආසන්න ජනගහනයකට එහි ප්‍රතිලාභ ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම තේ, එළවළු සහ වී ගොවීන් 22,000කට ආසන්න සංඛ්‍යාවක් නැවත මිලදී ගන්නන් සහ සැපයුම් දාම සමඟ සම්බන්ධ කිරීමට මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන උපකාරී වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරයි.

ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ සංඛ්‍යාලේඛන අනුව, ඩිත්වා චක්‍රවාතයෙන් සිදු වූ සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ප්‍රවාහන ක්ෂේත්‍රයට සිදු වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 973ක් පමණ වේ.

අනුමත වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 110 යනු මාර්ග ප්‍රතිසාධන වැඩසටහන සඳහා වූ සංවර්ධන මූල්‍යකරණයකි.

එය චක්‍රවාතයෙන් බලපෑමට ලක්වූ පවුල් වෙත සෘජුව ලබා දෙන මුදල් වන්දියක් ලෙස අර්ථ දැක්විය නොහැක.