ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ 'හෙල්ම්හෝල්ට්ස් පාරිසරික පර්යේෂණ මධ්‍යස්ථානය' (UFZ) අතර වසර පහක විද්‍යාත්මක පර්යේෂණ සහයෝගිතාවකට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය “Spatio Coexistence – Towards a Spatial Coexistence Theory for Species Rich Communities” ලෙස නම් කර ඇති අතර, ජෛව විවිධත්වය, ශාක ප්‍රජාවන් සහ පරිසර පද්ධතිවල ගතිකතාවන් පිළිබඳව මෙහිදී අධ්‍යයනය කෙරේ.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කාර්යභාරය
මෙම යෝජිත ගිවිසුම යටතේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පාරිසරික දත්ත රැස්කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා විශේෂඥ පර්යේෂණ සහකරුවෙකු ලෙස දායක වේ. අදාළ පර්යේෂණ කටයුතු සඳහා වසර පහක කාලය තුළ යුරෝ 50,000ක් දක්වා ප්‍රතිපාදන ලබාගැනීමට විශ්වවිද්‍යාලයට හැකියාව ලැබෙනු ඇත.
මෙම සහයෝගිතාව මගින් විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීම, නූතන පර්යේෂණ ක්‍රමවේදයන් වෙත ප්‍රවේශ වීම, දේශීය පර්යේෂණ ධාරිතාව වර්ධනය කිරීම සහ ඒකාබද්ධ විද්‍යාත්මක ප්‍රකාශන නිකුත් කිරීම අපේක්ෂා කෙරේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.